Breaking News

Monday, January 13, 2020

මහමෙව්නා උයනේ සමාධි බුදු පිළිමය



ශ්‍රී ලංකාවේ ඇති බුදු පිළිම වහන්සේලා අතරින් වඩාත්ම සම්භාවනාවට පාත්‍ර වූ එසේම ලෝක ප්‍රසිද්ධියට පත් වූ පිළිමය අනුරාධපුර සමාධි පිළිමයයි. අනුරාධපුරයේ දහස් ගණනක් බුදු පිළිම වහන්සේලා වැඩ සිටින මුත් මේ පිළිමය එහි ඇති පරිපුර්ණත්වයත්, ශාන්ත ස්වභාවයත්, කලාත්මක ගුණයත් හේතු කොටගෙන අනෙක් කිසිදු පිළිමයකට වඩා සුවිශේෂ වෙයි. සමාධි පිළිමය යැයි කී විට ඕනෑම සිංහල බෞද්ධයෙකුට මැවී පෙනෙන්නේ මේ පිළිම වහන්සේය. සාමාන්‍ය ව්‍යවහාරයේ මහමෙව්නා උයනේ පිහිටි ලෙස හැඳින්වුවද සමාධි පිළිම වහන්සේ අද වැඩ සිටින්නේ අභයගිරි ආරාම සංකීර්ණය තුලයි. සමහර විට මුලින් මහමෙව්නා උයනේ, එනම් මහා විහාරයේ, තිබී පසුව මෙතැනට ගෙන ආවා විය හැක.
 

සුරත වමත මත තබා ඇත.වම් උරහිස වසා ඇති සිවුර පපුව හරහා නෙළා ඇති සියුම් ඉරෙන් හෙළිවේ.දකුණු දණහිසෙන් නැමුණු දකුණු කකුල,එලෙසම නැමුණු වම් කකුල මත ඇත.මේ වැඩ සිටින ආසන ක්‍රමය දේශීය ප්‍රතිමාවලට ආවේණික වූවකි.මෙය වෙනුවට භාරතීය ප්‍රතිමාවන්හි දක්නට ලැබෙන්නේ පද්මාසනයයි. මෙම පිළිමයේ පුරාණයේදී සායම් ආලේප කර තිබූ බවට දැක්විය හැකි හොදම සාධකය වන්නේ විනාශ වී නොගොස් රැකුණු සායම් කොටස්ය.

අනුරධපුර සමාධි පිලිමය ලොව හොඳම හිඳි පිළිමය ලෙස සලකෙන අනුරධපුරයේ මහමෙව්නා උයනේ පිහිටි සමධි බුදු පිළිම වහන්සේ ක්‍රි.ව. 4-5 සියවස් වලදී කරවූ එනම් අනුරධපුර යුගයට අයත් නිර්මාණයක් ලෙස සලකේ. කළුගල් මාධ්‍යයෙන් පූර්ණ උන්නතව නෙලා ඇති මෙම පිළිම වහන්සේ කෙරෙන් වීරාසන ක්‍රමය හා ධ්‍යාන මුද්‍රාව නිරූපිත වේ. බුදුරජුන්ගේ අසමාන පෞරුෂය, ආධ්‍යාත්මික අති මානුෂික ලක්ෂණ, මුදු මොළොක්, සෘජු ජීවී බව මෙම පිළිමයෙන් පිලිබිඹු වන බව මෙම පිළිමය පිලිබඳ අධ්‍යයනයකරන උගතුන්ගේ මතයයි. ඇඟට ඇලුනු සිවුර, එක් රැල්ලකින් පමණක් දැක්වීම ශිල්පියා තුල වූ නිර්මාණශීලී කුසලතවය කියපායි. පිරුණු රවුම් ශාන්ත මුහුණින් මහා කරුණාව ප්‍රකශ වේ….
ශ්‍රීමත් නේරු තුමා ධේරා ධූරන්හි සිරගෙයි සිර දඩුවම් විදිද්දී මේ ප්‍රතිමාවෙහි අනුරුවක් සිර කූඩුව තුළ තබාගැනීමෙන් එයින් අස්වැසුම් ලබාගත් බව එතුමාගේ පොතක සදභන් වේ.

 සමාධි පිළිමය වැඩ සිටින ස්ථාන‍‍යෙහි අතීතයෙහි බෝධිඝරයක් විය.අභයගිරි විහාරයට අයත් මේ බෝධිඝරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1960දී කළ කැණීමකදී සොයාගන්නා ලදී.



වැදගත් සාධක

ඉරියව්ව: හිඳි පිළිමයකි
මුද්‍රාව: ධ්‍යාන මුද්‍රාව
ආසනය: වීරාසනය
උස: අඩි 7 අඟල් 6 පමණ
අමුද්‍රව්‍ය: හුණු ගල්

අනාබද්ද පිළිමයකි, එනම් නෙලූ පර්වතයෙන් සම්පුර්ණයෙන්ම වෙන් කරගෙන ඇත. අද පවතින්නේ ගඩොලින් සැදු ආසනයක් මතයි. කොන්ක්‍රීට් කණු මත කොන්ක්‍රීට් වහලක් ඉදි කර සෙවන ලබා දී ඇත. 

වෙනත් කරුණු 
මේ පිළිම වහන්සේ පසුබිම් කරගෙන බොහෝ ගී හා සාහිත්‍යාංග නිර්මාණය වී ඇත.

පණ්ඩිත් අමරදේවයන් විසින් ගායනා කෙරෙන "අඩවන් වූ දෙනෙතින් ගලනා, මෙත් මුදිතා කරුණා ධාරා" යන ගීය මේ පිළිම වහන්සේ ගේ ආනුභාවය මැනවින් විස්තර කරයි. 

විශාරද නන්දා මාලිනිය  ගායනා කරන "මහමෙව්නාවේ සමාධි බුදු ඇස, රෑ වට සීතල පින්නෙන් පිරුනිද" යන ගීය ද තවත් ජනප්‍රිය ගීයකි. නමුත් එය මේ පිළිම වහන්සේ ගැන ලියැවුණු ගීයක් නොවේ.
 

No comments:

Post a Comment