නානායක්කාර පතිරගේ ඒබ්‍රහම් පෙරේරා හා
රන්වලගේ ජොහානා පෙරේරා යුවළගේ පුතු නානායක්කාර පතිරගේ මාර්ටින් පෙරේරා නම් විය.
කවුරුත් දන්නා හැටියට ඔහු ඇන්.ඇම්.පෙරේරායි. ඇන්.ඇම්. උපන්නේ 1905 ජුනි 06 වැනිදා
ය.
ඔහු මුලින් ම අකුරු කළේ කොළඹ ශාන්ත
ජෝශප් විද්‍යාලයෙනි. අනතුරුව ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලටත් පසුව කොළඹ ආනන්දයටත්
ඇතුළු විය. පාසල් කාලයේ දී හේ කැපී පෙනෙන චරිතයකි. පාසල් ක්‍රිකට් කණ්ඩායමේ
නායකත්වය දැරූ ඇන්.ඇම්. එතෙක් ලංකාවේ නිෂ්පාදනය කළ ප්‍රථම සිංහල චිත්‍රපටය වූ
“රාජකීය වික්‍රමයේ” ප්‍රධාන චරිතයත් නිරූපණය කළේ ය. ඒ 1925 දී ය. පාසල් අධ්‍යාපනය
නිම කළ ඔහු ඊළඟට ඇතුළු වන්නේ ලංකා විශ්ව විද්‍යාලයටයි. සරසවියේ දී අර්ථ ශාස්ත්‍රය
හදාළ ඔහු පශ්චාත් උපාධියට නියමිත පර්යේෂණය කළේ “පාර්ලිමේන්තුව පිළිබඳ තුලනාත්මක
අධ්‍යයනයයි”
පී.එම්.ඩී. හා ඩී.එස්.සී. උපාධි දෙකම
අවසන් කළ ඔහුට බොහෝ දෙනා කීවේ “ඩබල් ඩොක්ටර්” කියාය. 1927 දී ඇන්.ඇම්. එංගලන්තයට
ගියේ “ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්” අර්ථ ශාස්ත්‍ර විද්‍යා පීඨයට ඇතුළු වන්නට ය.
මෙහි දී ඔහුට සුවිශේෂී චරිත ද්විත්වයක් හමු විය. ඒ ලෝක ප්‍රකට අර්ථ හාස්ත්රඥයෙකු
වූ හැරල්ඩ් ජේ ලැස්කි හා භාරතයේ මහා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ ක්රිෂ්ණ මෙනන් ය.
මේ හමුවීම් මත ඔහුගේ ඉදිරි ගමන ඉතා පැහැදිලි මාවතකට හැරුණි.
කොයිහැටි වෙතත් 1935 දී ලංකාවට පැමිණ
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ අර්ථ ශාස්ත්‍රය පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට
බැඳුණි. විශ්ව විද්‍යාලය තුළ අරගල දිග හැරෙන්නට යන්නේ මේ කාලයේ දී ය. එවකට අර්ථ
ශාස්ත්‍රය පිළිබඳ පීඨාධිපති ධූරයක් නොවූ අතර ඇන්. ඇම්. දිගින් දිගටම ඒ පිළිබඳ
ඉල්ලීම් කළේ ය. මේ අරගලයත් සමඟ ඔහුට තවත් පිරිස එකතු විය. ඒ අතර ආචාර්ය කොල්වින්
ආර් ද සිල්වා, පිලිප් ගුණවර්ධන හා ඩොරික් ද සූසා ද
සිටියහ. සිදුවූයේ මේ පිරිස එකතු වී “ලංකා සමසමාජ පක්ෂය” පිහිටුවීමයි.
මහ ඉහළින් උපාධි සමත් වී තිබුණ ද
ඇන්.ඇම්. ඒවා ආභරණ කොට නොගත්තේ ය. ඔහු පීඩිත ජනයා වෙනුවෙන් කැප විය. කොට කලිසමකින්
කමිසයකින් සැරසුණු ආචාර්ය ඇන්. ඇම්. මැලේරියා වසංගතය කාලයේ තුන්කෝරලයේ ඇවිද්දේ ය.
ඔහුගේ මල්ලේ තිබුණේ පරිප්පු හා “කුවිනීන්” වැනි බෙහෙත් ද්‍රව්‍යයන් ය. ඔහුට බොහෝ
දෙනා කීවේත් “පරිප්පු මහත්තයා” කියා ය.
ඇන්.ඇම්. හා සම සමාජ පක්ෂයේ ඉල්ලීම
පිරිස ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස බිහි විය යුතු බවයි. ඔහු රාජ්‍ය
මන්ත්‍රණ සභාවට තරඟ කළේ ය. 1936 පෙබරවාරි 22 දා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දෙවැනි
මැතිවරණයෙන් රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාසයේ තරඟ බිමට ආවේ ය. එදා ඔහු ඡන්ද 2975 කින්
පරාජය කළේ ප්‍රබල තරඟකාරියක වූ ඇඩ්ලින් මොලමුරේ කුමාරිහාමිව ය.
එදා ඇන්.ඇම්. කීවේ, “මේ රටේ ගම්මුලාදෑනි ක්‍රමය අහෝසි කළ යුතු ය. එය විහිළුවකි. පාසල්
සිසුන්ට දිවා ආහාරයක් රජය විසින් සැපයිය යුතුය. එහෙම කළොත් රට බංකොලොත් වේවා! රජයේ
කටයුතු ස්වභාෂාවෙන් ම කළ යුතු ය. අඩුම තරමේ උසාවිවලටත් එසේ කළ යුතු යි” යනුවෙනි.
එහෙත් ඇන්.ඇම්.ගේ අදහස්වලට බොහෝ දෙනා අපහාස උපහාස කළේ ය. වෘත්තීය සමිති වෙනුවෙන්
සටන් කළ ඇන්.ඇම්. 1940 ජුනි 18 අත්අඩංගුවට පත් ව සිරභාරයට පත් කෙරුණි.
වසරකුත් මාස අටක් සිරබත් කෑ ඔහු හිර
ගෙදරින් පැන ඉන්දියාවට ගොස් සිටියේ ය. එහි ගොස් එරට නිදහස් සටනට උරදුන් අතර එරට
පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදුව යළි ලංකාවට එවීය. වැලිකඩ සිර ගෙදර දී ඔහු
පොල් ලෙලි තැනීය. වොලිබෝල් ගැසුවේ ය. එහි සිරගතව සිටි සම්පූර්ණ කාලය තුළ දී ම මස්
මාංශ අනුභවයෙන් වැළකී සිටියේ ය. “ශ්‍රී ලංකාවට නිදහස් අධ්‍යාපනය අවශ්‍ය ඇයි?”
යන මැයෙන් පොතක් ලිව්වේ ද මේ කාලයේ දී ය. “පාර්ලිමේන්තු සම්ප්රදාය
පිළිබඳ තුලනාත්මක අධ්‍යයනය” මැයෙන් ලියූ පර්යේෂණ නිබන්ධනයට දේශපාලන විද්‍යාව
පිළිබඳ ආචාර්ය උපාධියක් හිමිවිය. ඒ වන විටත් ඔහු සිටියේ සිරමැදිරියේ ය.
ඔහුගේ මවගේ අභාවය සිදු වූයේ ද ඔහු
සිරගතව සිටි කාලයේ ය. ඔහු තවත් වතාවක් සිරගත වූයේ 1946 දී ය. ඒ සම සමාජ නායකයන් හා
වෘත්තීය සමිති එකල වැඩ වර්ජනයේ දී ය. එහෙත් ජනතාවගේ උද්ඝෝෂණය හමුවේ ඇන්.ඇම්.
නිදහස් කෙරුණි. 1953 අගෝස්තු 12 දා හාල්, සීනි
ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ නැංවීමට විරුද්ධව ඇන්.ඇම්ලා හර්තාල් කළෝය.
1955 දී කොළඹ නගර සභාවේ නගර සභිකයෙකු
වූ ඇන්.ඇම්. නගර සභාවේ පුරපති ද විය. 1960 දී පැවැති මැතිවරණයෙන් සටන් වැනේ සෑම
දරුවකුට ම පාසලක්, සියලු දෙනාට ම ගෙවල් හා සත විසි පහකට
හාල් සේරුවක් යන කරුණු මුල් කරගෙන ය. නමුත් එවර ඔවුන්ට බලය ලැබුණේ නැත.
1963 දී වාමාංශික එක්සත් පෙරමුණක්
පිහිටුවා ගත් ඇන්.ඇම්. 1964 සභාව පෙරමුණු ප්‍රතිපත්තියක් ද ඉදිරිපත් කළේය. 1970 දී
සම පෙරමුණු රජයේ මුදල් ඇමතිවරයා ද විය. 1966 කැනඩාවේ ඔටාවා හි පැවැති පොදු රාජ්‍ය
මණ්ඩලයේ දොළොස්වැනි පාර්ලිමේන්තු සම්මේලනයේ කතා කළේ ඇන්.ඇම්. ය. එය විශිෂ්ට
කතාවකි.
ඇන්.ඇම්. විවාහ වූයේ සෙලීනා පෙරේරා
සමඟිනි. ඇය හමුවූයේ සූරිය මල් ව්‍යාපාරයට සම්බන්ධව කටයුතු කරන කාලයේ දී ය. මේ
යුවළගේ විවාහය සිදු වූයේ 1936 මාර්තු මාසයේ දී ය.
ඇන්.ඇම්. නිර්භය මිනිසෙකි. ඕනෑම දේශපාලන
නායකයකු සමඟ සුහද ය. නමුත් තරාතිරම කවරක් වුව ද ඔහුගේ නිර්දය විවේචනයට ඒවා බල
නොපායි. නමුත් සිතේ වෛරී සිතිවිලි නැත. පක්ෂය හැර ගිය මුත් යළි පැමිණිය ද සිනාමුසු
මුහුණින් පිළිගත්තේ ඔහුගේ හිත හොඳකම නිසා ය. ඇන්. ඇම්. සටන් කළේ රටේ පූර්ණ නිදහස
වෙනුවෙනි. ධනපති පංතිය සමඟින් ද සටහන් වැදුණි.
බොහෝවිට මේ අපූරු මිනිසා සුදු කලිසම හා
සුදු කබායෙන් සැරසී රතු ටයි පටියක් පළඳින්නේ ය. සිනාමුසු මුහුණින් බොහෝ විට
සිටින්නේ ය. හැත්තෑ හතර වසරක් සැපිරූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා දිවි ගමනෙන් සමුගත්තේ
1979 අගෝස්තු 14 දා ය.
No comments:
Post a Comment