Breaking News

විශේෂාංග

Sunday, January 19, 2020

හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි (Hikkaduwe Sri Sumangala Thero)



හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි (Hikkaduwe Sri Sumangala Thera)


හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ ගිහි නම වන්නේ දොන් නිකොලස් ගුණවර්ධන වේ. ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව හෙට්ටිගොඩ ග්‍රාමයේ දොන් ජොහානිස් අබේවීර ගුණවර්ධන මහා ලියනආරච්චි රාළහාමි සහ ඔහුගේ බිරිඳ දොඩන්ගොඩ ගමගේ ක්‍රිස්ටිනා හාමිනේ මෙතුමාගේ දෙමව්පියෝ ය.එතුමා පවුලේ 5වැනි දරුවා ලෙස 1827 වසරේ ජනවාරි මස 20 දිනඋපත ලද අතර ප්‍රාථමික අධ්‍යාපනය ලෙස සිංහල හා පාලි භාෂාවන් උගනිනු ලැබුවේ හික්කඩුවේ හෙට්ටිගොඩ තිලකාරාම විහාරස්ථානයේ හික්කඩුව සෝභිත නායක හිමිගෙන් හා රේවත හිමියන්ගෙනි.‍

වයස අවුරුදු 13 දී හික්කඩුවේ තොටගමුවේ රජ මහා විහාරයේ දී පැවිදි භාවයට පත් විය. ළමාකාලයේ සිට ම ඔහු ඉතා දක්ෂ කථිකයෙක් හා දක්ෂ භාෂා හසුරුවන්නෙක් විය. පැවිදි භාවයට පත්වීමෙන් අනතුරුව මෙතුමා වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ පන්නම්ගොඩ පේගුත්තර හිමියන්ගෙන් සහ ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබුවේ කොරනේලිස් අබේවර්ධන මහතාගෙනි. 1848දී නුවර මල්වතුපාර්ශවයෙන් උපසම්පදාව ලැබූ සුමංගල හිමි උසස් අධ්‍යාපනය ලබන ලද්දේ වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහා නා හිමියන් යටතේ පරමධම්මචේතිය පිරිවෙනෙනි. එසේම කසීනාථ නමැති බමුණු පඬිවරයකුගෙන් සංස්කෘත, තර්ක ශාස්ත්‍රය සහ නක්ෂත්‍රය ආදිය ඉගෙන ගත්හ. මෙතුමා සියම් නිකායට අයත් හිමිනමක් වූ අතර එතුමා ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය යන නම්බු නාමයෙන් ද හඳුන්වන ලදී. තව ද මෙතුමා කොළඹ නව කෝරළේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක ලෙස ද කටයුතු කර ඇත.

1864 දී සුමංගල හිමියන් ශ්‍රී පාදස්ථානයේ නායක හිමි ලෙස පත් කරන ලදී. සුමංගල හිමි සිංහල, පාලි, සංස්කෘත හා ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයෙකු වූ අතර පුරාවිද්‍යාව,ගණිතය, ඉතිහාසය සහ බුද්ධ ධර්මය යන විෂයයන් පිළිබඳ හසළ දැනුමක් ද මේ ධර්මධර, වියත් හිමියන්ට තිබුණි. මෙතුමා මෙම විෂයයන් පිළිබඳ බොහෝ පොත් ලියා ඇති අතර 1873දී පැවති පානදුරාවාදයේ නායකත්වය ගෙන කටයුතු කළේය. ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ශ්‍රී ලංකාවට පැමිණියේ මෙම පානදුරාවාදයේ වාර්තාවක් කියවීමේ ප්‍රතිඵලයක් ලෙස ය.

බොහෝ පළපුරුදු ඇති ලේඛකයෙකු හා අති දක්ෂ කථිකයෙකු ලෙස ක්‍රිස්තියානි මිෂනාරිවරුන් සමඟ පැවැත්වූ පානදුරාවාදයේදී මෙතුමා පෙන්වූ හපන්කම් ඉමහත්ය.ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා සුමංගල හිමියන් යටතේ පාලි, බුද්ධ ධර්මය යන විෂයන් උගත් අතර එමඟින් එතුමාට කොළඹ ආනන්ද විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, නුවර ධර්මරාජ විද්‍යාලය වැනි බෞද්ධ පාසල් ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියට මාර්ගෝපදේශනය ලබා දෙන ලදී.

බෞද්ධ අධ්‍යාපනය දියුණු කිරීමට විශාල උත්සාහයක් ගත් උන්වහන්සේ 1873 ආරම්භ කළ මාලිගාකන්ද විද්‍යෝදයපිරිවෙනෙහි නිර්මාතෘවරයා ය. පසුව1959 දී එය ශ්‍රි ලංකා රජය විසින් විශ්වවිද්‍යාල මට්ටමට පත් කරන ලදී. ථෙරවාදි බුදු දහම පැතිරවීමට එම පිරිවෙන මහඟු තෝතැන්නක් විය. විශාල ගෝල පිරිසක් බිහිකළ සුමංගල හිමියෝ බුදු දහම ජනතා හදවත් තුළ තව දුරටත් පෝෂණය කොට වැඩි දියුණු කිරීමට හැමවිට ම උත්සාහ ගත්හ.

තවද 1885දී බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමට පත්කළ කොළඹ කමිටුවේ සභාපති බවට පත්වූයේ ද සුමංගල හිමිය. මෙහිමියන් බෞද්ධ පුවත්පත් කළාවේ පුරෝගාමියෙක් ලෙස ද හැඳින්විය හැකි ය. ලංකාලෝකයපුවත්පත ආරම්භ කරන ලද්දේ එතුමා විසින් වන අතර බෞද්ධ සමාජයට සරසවි සඳරැසහා සිංහල බෞද්ධයා වැනි පුවත්පත් ඇරඹීමට ප්‍රබෝධයක් ඇතිකරන ලදී.

උන්වහන්සේ සිදුකළ සමාජ මෙහෙය මෙන් ම එතුමන් විසින් සිංහල සාහිත්‍යය අඹරට තිලිණ කරන ලද පාලි, සිංහල, සංස්කෘත ග්‍රන්ථ සහ ගාථා හා ශ්ලෝක තුළින් ද දෙස, බස, රැස රැකගැනීමෙහිලා ඉටු වූ සේවය අතිමහත් ය. නැණනුවණින් වාග් කෞශල්‍යයෙන් ගුණ නුවණින් ලක් මාතාවට කීර්තිය ගෙනදුන් එතුමන් වහන්සේ 1911 වසරේ අප්‍රේල් 29 දා අවුරුදු 84ක් ආයු වළඳා අපවත් වූහ.

නිර්මාණ 

බෞද්ධ ග්‍රන්ථ
බ්‍රහ්ම ධර්මය, වර්ණ රීති(1873), මාසාර්තු ලක්ෂණ(1858), වර්ණ රීති(1873), පාලි මහාවංසය සිංහලට පරිවර්තනය කිරීම

රචනා කරන ලද පද්‍ය කෘති
සිදත් සඟරා සන්නසය, කාව්‍යශේඛර සන්නසය

රචනා කරන ලද පාලි ග්‍රන්ථ
බාලාවතාර ටිකාව, පාලි නාමපද මාලාව

No comments:

Post a Comment