මුල්කිරිගල රජ මහා විහාරය |
මුල්කිරිගල රජමහා විහාරය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත පුරාණ
විහාරයකි.මෙම විහාරය වීරකැටිය ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර මුල්කිරිගල හන්දියේ සිට 2 කි.මි. පමණ දුරකින් පිහිටා ඇත.මෙම
විහාරස්ථානයට දික්වැල්ල හෝ තංගල්ල පෙදෙස් වලින් ළඟා විය හැකි අතර මුල්කිරිගල
විහාරය කුඩා සීගිරිය ලෙසින්ද හැඳින්වේ.වර්තමානයේ මෙම විහාරය මුල්කිරිගල නමින්
හැඳින්වුවද සමුද්ද පබ්බත, මුහන්ද්‍ර
ගිරි, මුහුදු ගිර, ගිරිබා වෙහෙර, ගිරිබ ලෙණ, දක්ඛින පබ්බත, දක්ඛින ගිර,
මුවතිරිගල, මුකිරිගල්ල, මුල්ලගිරිය යන නම් වලින් මෙය පුරාණයේ හඳුන්වා ඇත.මුල්කිරිගල විහාරයේ මුදුනත
පිහිටි ස්ථූපය සද්ධාතිස්ස රජ විසින් ක්‍රි. ව. 3 වන සියවසේදී කරවා ඇතිබව මහාවංශයේ සඳහන් වන අතර ධාතුසේන
රජ විසින්ද ස්ථූපයක් කරවා ඇති බව ඉතිහාසයේ සඳහන් වෙයි. වළගම්බා රජතුමා මෙනම මහනුවර
යුගයේ රජකළ කීර්ති ශ්‍රී රාජසිංහ රජවරු විසින්ද මෙම විහාරයේ ප්‍රථිසංස්කරණ කටයුතු
සිදුකර ඇත.මීටර් 205 ක උස
ස්වභාවික ගල් පර්වතයක මුල්කිරිගල විහාරය පිහිටා ඇති අතර බෙනගල, කොන්ඩගල, බෝධගොල්ල සහ සීලවතුගලා යනුවෙන් හැදින්වෙන තවත් පර්වත
හතරකින් වටවී ඇත.
මෙරට මහනුවර සිතුවම් සම්ප්‍රදායේ විශේෂ ස්ථානයක් හිමිකර
ගන්නා සිතුවම් අවස්ථාවක් ලෙස මුල්කිරිගල විහාරස්ථානයේ වූ ලෙන් සිතුවම් හැඳින්විය
හැකිය.වෙස්සන්තර, තේලපත්ත හා
ශිවි වැනි ජාතක කතා ද්විමාන සිතුවමින් ලෙසින් තීරුගත ක්‍රමයට සිතුවම් කර ඇත.උඩුකය
නිරුවත් ආභරණ පැළැඳි කතුන් බෙර වාදනයේ යෙදෙන අවස්ථාව මෙහි ඇති විශේෂිත සිතුවමක්
ලෙස හඳුවන්යි.විහාරස්ථානයේ පැරණිතම සිතුවම් ලෙස රජමහා විහාර මළුවේ තේලපත්ත ජාතක
සිතුවම් හඳුන්වයි.පහළ විහාර මළුවේ පදුම රහත් විහාරයේ වූ තේලපත්ත හා වෙස්සන්තර ජාතක
සිතුවම් වඩා විචිත්‍ර සිතුවම් ලෙස හඳුන්වන අතර එම සිතුවම් අතර රෝස මල්, මිදි පොකුරු යනාදිය දක්වා තිබීම මගින් මෙරට
සිතුවම් කලාව තුල වූ විදේශීය බලපෑම් පෙන්නුම් කරයි.මෙම විහාරයේ පවතින මූර්ති
විහාරයේ වූ ලෙන් විහාර 7 ක් පුරාවට
දක්නට ලැබෙයි.ඒවා අතර දහ අට රියන් සැතපෙන හා පිරිණිවන් බුද්ධ ප්‍රතිමා, සතර බුදුවරුන්ගේ ප්‍රතිමා හා මතු බුදුවන
මෙෙත්‍රී බුදුන්ගේ ප්‍රතිමාවද, අග සව් ප්‍රතිමා
හා දෙවි දේවතා ප්‍රතිමා දැකගත හැකිය.
වහරලේ ලිපිය,පොකුණේ පර්වත ලිපිය සහ ලෙන් ලිපිය විහාරයේ පවතින ශිලා ලිපි වෙයි.වහරලේ
ලිපිය ක්‍රි. ව. 6-7 සියවසට අයත්
වන අතර මෙම සෙල්ලිපිය පුරාණ සිංහල භාෂාවෙන් හා පරාවර්තිත බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන්
සමන්විත වෙයි.ක්‍රි. ව. 9-10 සියවසට අයත්
වන පොකුණේ පර්වත ලිපියෙහි මැදි කාලීන සිංහල භාෂාව අන්තර්ගත වෙයි.කහවැල්කියන්රාළ
නම් මහළු අයෙකු මුහුදුගිරි විහාරයේ පොකුණට මස්සක මුදලට ගල් පඩි 4ක් කරවූ විස්තරය මෙහි දැක්වෙයි.මුල්කිරිගල
ලෙන් ලිපිය භාණක ලෙනේ දැකගත හැකිය.පුරාණ සිංහල භාෂාවෙන් හා පූර්ව බ්‍රාහ්මී
අක්ෂරයෙන් සමන්විත වන මෙම සෙල්ලිපිය ක්‍රි. පූ. 2-1 සියවසට අයත් වේ.මඤ්ධිමභාණක උපසෝණ නම් භික්ෂුවගේ ලෙන
පැමිණි නොපැමිණි භීක්ෂූන්ට පූජා කිරීම ගැන විස්තර ඇතුලත් වේ.
No comments:
Post a Comment